සෙල්ලම් කිරීම යනු ළමයින් ගවේෂණය කිරීමට, ඉගෙනීමට සහ අවට ලෝකය සමඟ සම්බන්ධ වීමට භාවිතා කරන භාෂාවකි. මවක් ලෙස ඔබගේ කාර්ය භාරය වන්නේ දරුවා ක්‍රීඩා කිරීම සහ විනෝද වීම අධීක්ෂණය කිරීම පමණක් නොව ක්‍රියාශීලීව ඒවායෙහි නිරතවීම, ආදරණීය අවස්ථාවන් නිර්මාණය කිරීම සහ අත්‍යාවශ්‍ය සම්බන්ධ කුසලතා පෝෂණය කිරීමයි. මෙම කොටසේදී සෙල්ලම් කිරීමේ සහ විනෝද වීමේ වැදගත්කම ගවේෂණය කර එය ඔබට සහ ඔබේ දරුවාට ප්‍රියජනක ලෙස භාවිතා කිරීමට ප්‍රායෝගික උපදෙස් ලබා දෙන්නෙමු.
වයස අවුරුදු තුනත් පහත් අතර ළමුන් මනක්කල්පිත ක්‍රීඩා, ශාරීරික ක්‍රීඩා සහ මවාපෑම් සම්බන්ධයෙන් වන විනෝදජනක ක්‍රීඩා ඇතුළු විවිධ ආකාරයේ ක්‍රීඩාවල නිරත වීමට කැමැත්තක් දක්වයි. මේ සෑම වර්ගයකම සෙල්ලම් සහ විනෝදජනක ක්‍රීඩා ඔවුන්ගේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ.
මෙම වයසේදී ඔබේ දරුවාගේ පරිකල්පන හැකියාව ට සහ නිර්මාණශීලීත්වයට සීමා මායිම් නැත. විවිධ වූ සෙල්ලම් බඩු සහ විවෘත අවස්ථාවන් ලබා දීමෙන් ඔබේ දරුවාගේ පරිකල්පන හැකියාව සහ නිර්මාණශීලීත්වය දිරිමත් කිරීමට සැමවිටම උත්සාහ කරන්න.
සෙල්ලම් කිරීම සහ විනෝදජනක ක්‍රීඩාවල නිරත වීම මගින් දරුවාගේ සංජානන කුසලතා වර්ධනය කිරීම සඳහා ඉතාමත්ම වැදගත් වන ගැටලු විසඳීමේ හැකියාව, මතකය සහ නිර්මාණශීලීත්වය වැනි දේ උත්තේජනය කිරීමක් සිදු කරයි.
සෙල්ලම් කිරීම සහ විනෝදජනක ක්‍රීඩාවල නිරත වීම තුළින් දරුවන්ට ආරක්ෂිත පරිසරයක් තුළ ඔවුන්ගේ හැඟීම් ගවේෂණය කිරීමට සහ ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ. එය සහසංවේදන කුසලතා සහ සමාජ කුසලතා වැඩි දියුණු කිරීමට සහ පෝෂණය කිරීමටද උපකාර වෙයි.
ඔබේ දරුවා සෙල්ලම් කරන විට ඔබ ඔහු හෝ ඇය සමඟ සම්පූර්ණයෙන්ම රැඳී සිටීම ඉතා වැදගත් වේ. දුරකථනය වැනි අවධානය වෙනතකට යොමු කරන ක්‍රියාකාරකම් ඉවත් කර ඔහු සමග සම්පූර්ණයෙන්ම රැඳී සිටිමින් සෙල්ලම් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.
සෙල්ලම් කරන විට සහ විනෝදජනක ක්‍රීඩා වල නිරත වන විට ඒවායේ පෙරමුණ ගැනීමට ඔබේ දරුවාට ඉඩ දෙන්න. ඔවුන්ට ක්‍රීඩා කරන කාලය වඩාත් ආකර්ෂණීය සහ විනෝදජනක කාලයක් කර ගැනීමට ඔවුන්ගේ රුචිකත්වයන්ට සහ ඔවුන්ගේ ඉඟිවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් ඔවුන්ව අනුගමනය කරන්න.
මනඃකල්පිත ක්‍රීඩා සහ සෙල්ලම් සඳහා විවිධ වූ ඇඳුම් පැළඳුම් ඇතුළත් පෙට්ටියක් තබාගන්න. ඔබගේ සහ දරුවාගේ නිර්මාණශීලීත්වය සහ බැඳීම පෝෂණය කර ගැනීමට ඔබේ දරුවා සමග එක්වී විවිධ වූ භූමිකාවක් රඟ දක්වන්න. (උදාහරණ: ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, හෙදියක්, පොලිස් නිලධාරියෙක්, ගිනි නිවන භටයෙක්, වඩු කාර්මිකයෙක්) වැනි විවිධ වූ භූමිකාවන් රග දැක්වීම ඔබ දරුවා සමඟ සිදු කරන්න.එය දරුවාගේ මනෝ සමාජීය වර්ධනය සඳහා උපකාරී වේ.
උදාහරණයක් ලෙස ඔබේ දරුවා සමඟ සෆාරි යාම, සත්වෝද්යානයට යාම, සුපිරි වෙළඳසැලකට යාම, වනාන්තරයට යෑම හෝ වෙරළ ගවේෂණය කිරීම වැනි මනංකල්පිත අවස්ථාවන් ගොඩනගා ගනිමින් සෙල්ලම් කරන්න. එම කතාවේ සිදුවන දේවල් විස්තර කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න.
දිවීම, පැනීම සහ නැටීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් මගින් විනෝදය පමණක් නොව දරුවාගේ දළ චාලක කුසලතා වර්ධනය වීමක් ද සිදු කරයි.
හැකි සෑම විටම එළිමහනේ සෙල්ලම් කිරීමට සහ විනෝදජනක ක්‍රීඩා කිරීම සඳහා කාලය වෙන් කරගන්න. ගවේෂණය කිරීමට සහ සංවේදී අත්දැකීම් ලබාගැනීම සඳහා ස්වභාවධර්මය ඉතාමත්ම පොහොසත් ක්‍රීඩාපිටිය ලබා දී ඇත.
ඔබ දරුවා සමග සෙල්ලම් කිරීමට වෙන්කර ඇති කාල සීමාව තුළට අධ්‍යාපනික ක්‍රීඩා ද ඇතුළත් කර ගන්න. සරල පුවරු ක්‍රීඩා, ප්‍රහේලිකා සහ ගණන් කිරීමේ ක්‍රීඩා වැනි සෙල්ලම් විනෝදජනක මෙන්ම අධ්‍යාපනික වටිනාකමක් ද ලබා දෙයි.
ඔබ සහ දරුවා අතර ඇති බැදීම ශක්තිමත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රබල මෙවලමක් ලෙස සිනාසී විනෝදයෙන් දරුවා සමග සෙල්ලම් කිරීම හැඳින්විය හැකිය. ක්‍රීඩාවත් සමග එන හාස්‍යජනක අවස්ථා භුක්ති විදින්න.
ක්‍රීඩා කිරීමේදී ඔබේ සහ දරුවාගේ උත්සාහයන් සහ ජයග්‍රහණ අගය කරන්න. මෙම ධනාත්මක ශක්තිමත් කිරීම තුළින් ඔවුන්ගේ ආත්ම අභිමානය ඉහළ නංවනු ඇත.
දරුවා සමඟ සෙල්ලම් කිරීම සහ විනෝදජනක ක්‍රීඩා වල නිරත වීම අත්‍යවශ්‍ය වන නමුත් අවශ්‍ය විටෙක කෙටි විවේකයක් ගැනීමට මතක තබා ගන්න. මෙය ඔබට නැවත ශක්තිය ලබා දීමට සහ ක්‍රීඩා කරන කාලය තුළ දී වැඩිපුර විනෝදයෙන් ක්‍රීඩාවෙහි නිරත වීමට ඉඩ ප්‍රස්ථාව සලසනු ඇත.
සෙල්ලම් කිරීම සහ ක්‍රීඩා කිරීම විනෝදය සදහා පමණක්ම නොවේ. එය ඔබ සහ ඔබේ දරුවා අතර ඉගනිම, චිත්තවේගීය වර්ධනය සහ බැඳීම වැඩි දියුණු කිරීම සඳහා අත්‍යාවශ්‍ය මෙවලමකි. මෙම කොටසෙහි සපයා ඇති විස්තර සහ ඉඟි සැලසුම් කර ඇත්තේ ඔබට දරුවා සමග එකට ක්‍රීඩා කරන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා උදව් කිරීමටය. ඔබේ දරුවාගේ රුචිකත්වයට සහ පෞරුෂයට ගැළපෙන පරිදි මෙම යෝජනා සකස් කරගන්න. ක්‍රීඩාව සහ සෙල්ලම් කිරීම තම ජීවිතයට ඇතුළත් කර ගැනීමේ සහ එම අවස්ථා එකට එක් වී භුක්ති විඳීමෙන් ඔබ සහ ඔබේ දරුවා අතර ඇති බැඳීම ශක්තිමත් කරන අතරම කල් පවතින මතකයන් නිර්මාණය කරයි. එමෙන්ම එය ඔබගේ දෙමාපිය ස්වයං කාර්යක්ෂමතාවය/ ස්වයං ඵලදායිතාවය සහ ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීමටද හේතු වේ.